බෙන්තොට ඓතිහාසික ගලපාත රජමහා විහාරය වූ කලී දකුණු ලක පිහිටා ඇති පැරණිම රමණීය බෞද්ධ අනුබුදු යන විරුදාවලිය ලත් කාශ්‍යප මහ රහතන් වහන්සේගේ දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින මෙම රමණීය විහාරස්ථානය පිළිබඳව ඉතිහාස පොත්වල හා වංශ කථාවල මනාව පැහැදිලි කර ඇත.පූජාවලියේ සඳහන් කර ඇති ආකාරයට දළදා මැඳුරක වැඩ සිටි දන්ත ධාතූන් වහන්සේ දෙවන පැරකුම් මහ රජතුමා විසින් දැනට විහාරයේ පිහිටි පැරණි චෛත්‍ය රාජයාණන් තුළ තැන්පත් කර ඇත.
වර්ෂ 1920 පෙබරවාරි 14 වෙනි දින එවකට පුරාවිද්‍යා කොමසාරිස් ධූරය දැරූ ඊ.ආර්.අයි.ඊටන් මහතා ප්‍රකාශ කළ ආකාරයට දුටුගැමුණු රජකළ අනුරාධපුරට ලැබී ඇති මෙම අනුබුදු දන්ත ධාතූන් වහන්සේ එහි වැඩසිටි එක්තරා රහතන් වහන්සේ නමක් විසින් මහරහතුන්ගේ නිජභූමියක් වූ බෙන්තොට ගලපාත රජමහා විහාරයට වැඩම කරවා ඇත.මෙම පුවත කන වැටුණු දුටුගැමුණු මහරජතුමා තමන්ගේ මලණුවන් වන සද්ධාතිස්ස කුමාරයා බෙන්තොටට එවා ගලපාත රජමහා විහාරය අංග සම්පූර්ණ සංඝාවාසයක් ලෙසට නිමවා ඇත.මේ බව මහාවංසයේද සඳහන්ය.පොළොන්නරු යුගයේදී පළවන විජයබාහු,කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල,පළවන පරාක්‍රමබාහු ආදී රජවරු විහාරස්ථානය වැඩිදියුණු කර කාශ්‍යප දන්ත ධාතූන් වහන්සේට ඉමහත් පූජෝපහාර දක්වා ඇත.
මීට අවුරුදු 240කට ඉහතදී දළදා වහන්සේ තැන්පත් කර ඇත්තා වූ පැරණි චෛත්‍ය ප්‍රතිසංස්කරණය කිරීමේදී දන්ත ධාතූන් වහන්සේ එළියට වැඩමවා සතියක් යනතුරු මහජනතාවට ප්‍රදර්ශනය කර ඇති බව පූජාවලියේ සඳහන් වේ.
දෙවන පැරකුම්බා මහරජතුමා විසින් බෙන්තර ගම වටකොට පහන් වැටක් සාදවා (අද පෙරහැර ගමන් කරන රජ මාවත) සුවඳින් පුදා දළදා වහන්සේට පූජෝපහාර දැක්වූ බවද පූජාවලියේ සඳහන් වේ.එතුමා ආරම්භ කළ මෙම දළදා පූජෝපහාරය රජ නියමයෙන් අඛණ්ඩව වාර්ෂිකව පවත්වා ඇත.එමෙන්ම කුරුණෑගල රජ කළ සිව්වන පරාක්‍රමබාහු ශ්‍රී සර්වඥ දන්ත ධාතූන් වහන්සේට මෙන්ම,කාශ්‍යප දන්ත ධාතූන් වහන්සේට ද පුද සිරිත් පැවැත්විය යුතුයැයි ව්‍යවස්ථාවක් පනවා ඇත.එමෙන්ම මතු රජවරුද මෙය ඉටු කළයුතු බවට නීතියක් පනවා ඇත.දෙවන පැරකුම් රජ දවස පටන් අඛණ්ඩව පවත්වාගෙන ආ මෙම දළදා උත්සවය 1568 නොවැම්බර් 05 වන දින ගලපාත රජමහා විහාරයට එල්ල වූ පෘතුගීසි ප්රහාරයන් සමඟ නැවතී ගොස් ඇත.එහි තිබූ වටිනාකමක් ඇති සියලුම දේ පෘතුගීසින් විසින් සොරාගෙන ගොස් ඇති අතර විහාරයද විනාශ මුඛයට ඇද දමන ලද්දෝය.වාසනාවකට මෙන් චෛත්‍ය රාජයා තුළ නිදන් කර තිබූ දළදා වහන්සේ නිරුපද්‍රිතව සිට ඇත.
ඉන්පසුව වසර හාරසියයකට පසුව ප්‍රදේශවාසීන්ගේ දැඩි ඉල්ලීම මත එවකට විහාරාධිපති ධූරය දැරූ ඇලකාකේ පඤ්ඤාවාස හිමියන් විසින් 1976 වර්ෂයේ සිට දළදා වහන්සේට පූජාවන් පවත්වා අලි ඇතුන්,පහතරට,උඩරට නැටුම් ආදී විචිත්රාංග රාශියක් ඇතුළු පෙරහැර සෑම වසරකට දෙසැම්බර් මස පුන් පොහෝ දිනට ආසන්න දිනයක වීථී සංචාරය කරයි.
ශ්‍රී ලාංකිකයන් අතර පමණක් නොව ජාත්‍යන්තර කීර්තියට පත්ව ඇති බෙන්තර ශ්‍රී කාශ්‍යප දළදා පෙරහැර නැරඹීමට විදේශීය සංචාරකයින්ගේද සහභාගීත්වය ඉහළ අගයක් ගනී.අපගේ සංස්කෘතික නිර්මාණශීලිත්වය ජාත්‍යන්තරයට ගෙන යාමට මෙම පෙරහැර දායක වී ඇති බව සඳහන් කිරීම අගනේය.එමෙන්ම සංචාරක ව්‍යාපාරයේ උන්නතිය වෙනුවෙන්ද මෙය බලපෑම් සිදුකර ඇති බව මීට සහභාගි වන විශාල විදේශික ජනයාගෙන් පැහැදිලිය.
3 comments:
ඒක මරු
❤️❤️❤️
ඒක මරු
Post a Comment