(කෙටි කතාව)
(සාම්ප්‍රදායික සන්නිවේදනය)
උස් ජනෙල් තීරුවෙන් රන්වන් හිරු රැස් කාමරය තුළට පිවිසියේ මට තවත් අවදි නොවී සිටීමට ඉඩ අහුරමිනි.ඇඳෙන් බැස මම පිටත පරිසරය වෙත නෙත් යොමන්නට වීමි.වෙනදා දකින උස් බිල්ඩින්,කාර්,බස් වෙනුවට අපූරූ වෙල් යායක් ඈතින් දිස්වන කිචි බිචි කුරුලු නාදයෙන් සංගීතවත් වන සොඳුරු දසුනක් මා ඉදිරිපිට විය.වෙල් යායේ අද අත්තම් දිනයක් බව ගෙදර අම්මා පෙරදින රාත්‍රීයේ පැවසූ බව මට මතකය.වෙල් යායේ පිරිස එකතු වී ඇත්තේ එනිසා විය යුතුය.ගෙදර අම්මා ලෙස අප හැඳින්වූයේ අම්මාගේ අම්මාය.අම්මාත් මමත් නංගීත් අම්මාගේ මහගෙදර පැමිණ දැන් සතියකට ආසන්නය.බෙන්තර නදිය පසුකර දකුණු ලංකාවේ ඈත පිටිසර ප්‍රදේශයක පිහිටි සූරියගම මහගෙදර පැමිණෙන්නට මා පුංචි දවස්වල සිට කැමතිය.සීයා අප්පච්චිගේත්,ගෙදර අම්මාගේත්,නැන්දාගේත් ආදරය මේ කාලය පුරාවටම හොඳින් දැනීම මගේ සිත් ගත් තවත් කරුණකි.මා සාලයට යන විට අඩනින්දෙන් අවදි වූ නැගණිය ද මා පසුපස ආවාය.
“මගේ පුංචි කෙල්ලො දෙන්නා නැගිට්ටද,මූණ හෝදාගෙන හනික එන්නකෝ එහෙනම් කෑම මේසයට,මං සීයා අප්පච්චිටයි,නැන්දටයි,දූලගේ අම්මටයි කතා කරන්නම්,හැමෝම එකට වාඩිවෙලා කෑම කමු,අද මම ලොකු දෝණි ආසම කෑමක් හැදුවා.දුව පිට්ටු කන්න ආසයිනේ?”මමත් නංගීත් මුහුණ සෝදාගෙන අවුත් කෑම මේසයට වාඩි වීමු.
“අම්මේ අද බෙන්තර රිද්දියාගයක් තියෙනවා යමුද කට්ටිය එක්කම බලන්න” නැන්දා කෑම මේසය වෙත ආවේ අලුත් ආරංචියක් රැගෙනය.කෑම කා අහවර වන තෙක් මා ඉවසා සිටියේ රිද්දියාගය මොකක්දැයි අම්මාගෙන් අසන්නටයි.ආහාර ගැනීමෙන් පසු සාලයේ පත්තරයක් බලන්නට ගිය අම්මාගෙන් ඒ පිළිබඳව විමසුවෙමි.
“මටත් වඩා විස්තර රිද්දියාගය ගැන සීයා අප්පච්චි දන්නවා පුතේ.ඉස්තෝප්පුවේ බුලත් කොටන සද්දයක් ඇහෙනවා නේද?එන්න යමුකො අපි සීයා අප්පච්චිගෙන් අහමු.දැන් තමයි කතාවක් අහගන්න හොඳම වෙලාව”අම්මාද මමද නංඟීද ඉස්තෝප්පුව වෙත පිවිසියෝය.
“තාත්තේ අපේ දුවලා දෙන්නා අහනවා නැන්දා රිද්දියාගයක් බලන්න යමුයි කීවානෙ මොනවාදැයි ඒ කියන්නේ අහනවා”මමත් නංඟීත් සීයා ඉදිරිපිට ඉස්තෝප්පුවේම බිම වාඩි වී ඇහුම්කන් දෙන්නට විය.සීයා බුලත් විට හපා කෙල ටික පඩික්කමට දමා කතාව අරඹන්නට විය.
“මෙහෙමයි මගේ පුතේ අපේ රටේ ඉස්සර ඉඳන්ම එකම විදිහට පවත්වාගෙන ආව බොහෝ දේ තියෙනවා.ඒවා තමයි සම්ප්‍රදාය කියන්නේ. අන්න ඒ සම්ප්‍රදාය බොහෝ විට ගමත් එක්ක බැඳුණු දෙයක්.ගමේ තිබුණු මේ සම්ප්‍රදාය ඇතුළේ තිබුනා ශාන්තිකර්ම.ශාන්තිකර්ම කියන්නෙ සෙත් පැතීමක්.රිද්දියාගය පහතරට සම්ප්‍රදායේ යකුන් උදෙසා පවත්වනු ලබන එකම ශාන්තිකර්මයයි. ඒවගේම තමයි විවාහක දරුවන් බලාපොරොත්තු වන කාන්තාවන් උදෙසා ද මෙය පවත්වනවා. මහමේරූ පර්වතය දෙපලු කරගෙන නැඟී එන රටයකුන් කාන්තාවන්ගේ දරු ගැබ විනාශ කරන බවට ජනවිශ්වාසයක් පවතිනවා.
"රන්ගිර මෙර මුදුනින් ගිනිගන්නේ
රන්කොත රන්පන්හිඳ ගිනිගත්තේ
වන් තද ගිනි රැස්වට එහි නිත්තේ
ඉන් මෙලොවට යක්සෙන් හටගත්තේ"
"එතකොට සීයේ කොහොමද මේ යාගය ආරම්භ වෙලා තියෙන්නේ"
"ඒක පුතේ රජ කාලයට අයිති කතාවක්.මහමේරුව පලාගෙන හටගත් ගිනිපුපුරු හතකින් මුදුන්මාල, ධර්මපාල, ගිරිමේඛල, ඕන්කාර, රිද්දි, කොණ්ඩමාල, රණකපාල යන බිසෝවරු සත් දෙනෙක් ඉපදුනා.මොවුන් වැඩිවියට පත් වුව ද දරුවන් නොලැබුණු නිසා දරු උපත් බලාපොරොත්තුවෙන් වේදනාවෙන් කාලය ගත කලා.දීපංකර බුදුන්ට නොඉඳුල් සලුවක් වියා පූජා කිරීමෙන් දරු සම්පත් ලැබෙන බව සිහිනෙන් දැක, එය ඉටු කරගැනීමට කටයුතු කරා.ඊටපසු නානු ගා ස්නානය කොට සළු පිළි ආභරණ පැලැඳ දළු බුලත් අනුභව කොට නැව් නැග ලක්දිව උසන්ගොඩ ප්‍රදේශයට ගොඩ බැස්සා.එහිදී බිසෝවරු හේනක් කොටා කපු වපුරා අස්වනු ලබා සලුවක් වියා බුදුරදුන්ට පූජා කරා.එම අනුහසින් දරු ගැබ පහළ වී ඇති බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා"
“මේ විස්තර සේරම යාගයේදී රඟ දැක්වෙනවනද සීයේ?”
"ඔව් පුතේ මේ ශාන්තිකර්මයේ දොළහ පෙළපාලිය හා කපුයක්කාරිය යන අංගවලින් මේ සිද්ධි නිරූපණය කරනවා.සඳුදා,බදාදා දිනවල තමා මේ යාගය පවත්වන්නෙ නැත්තේ.සැන්දෑ යාමයට පටන් අරන් පසුදා පහන් වනතුරු යාගය පවත්වනවා"
“ඇයි සීයේ ඉතින් මේ යාගයට යකුන් කතාවක් සම්බන්ධ වෙලා තියෙන්නේ.කොහොමද යකුන් සම්බන්ධ වුණෙ? නංඟීගෙන් ඒ ප්‍රශ්නය ඉදිරිපත් විය.
“කලින් කියපු කතාවටම ඒ කතාව සම්බන්ධයි පුතේ.බිසෝවරු දරුගැබ පහළ වූ පසු ආභරණ ඇල්ලට දිය යාමට යනකොට රොඩියෙකු ස්පර්ශ වූ නිසා බිසෝවරු ඇල්ලෙන් පැන මිය ගොස් යක්ෂණියන් වෙලා තියෙනවා"
“මේ යාගයේ ලස්සන සැරසිලි එහෙමත් ඇති නේද සීයේ.අනේ මට හරි ආසයි ඒවා බලන්න” මම සිතෙහි හටගත් ආශාව එහෙමම වචනවලට පෙරළුවෙමි.
"ඔව් පුතේ නවමල්පාය කියලා ලස්සන මල්මඩුවක් වගේම කුමාර වීදිය,කුමාර පිදේනිය,කත්තිරික්ක හතරක් තියෙනවා.ඒ විතරක් නෙවෙයි සූනියම් වීදිය,කපාල කූඩුව,දැර හෑව,නව මාලේ මල්බලිය,කලු කුමාර බලිය,විවිධ රංග භාණ්ඩවලින් මේ යාගය සැරසිලා තියෙනවා"
"මේ යාගයෙන් පුදලබන යක්කු ගොඩක් ඉන්නවද සීයේ?" "නැතුව ඉතින්.කලු යකා, කලු කුමාර යකා, රට යක්කු, රොඩී යකා, තොට යකා,ඊරි යකා,මහා සෝනා,බිල්ලේ යකා,සොහොන් යකා,හූනියම් යකා,අභිමාන යකා වගේ ගොඩක් යක්කු ඉන්නවා.ඔන්න ඉතිම් මගෙ දුවලා යාගෙ බලන්න යන්න බය වෙනවා එහෙම නෙවෙයි" සීයා අප අස්වැස්සුවේ අප බියවෙතැයි සිතා විය යුතුය.
"මේ පළාතේ විතරද සීයේ මේ යාගය තියෙන්නෙ.අපේ ගෙවල් පැත්තෙ මේවා නෑනේ?" නංඟී ඇත්තටම දුක්මුසුව පැවසූවේ ඇයට අපේ හෙම්බත් වූ නාගරික ජීවිතය මතක් වන්නට ඇත.
"ගමයි නගරයයි පොඩ්ඩක් වෙනස්නෙ මගෙ පුතේ.මාතර සහ බෙන්තර ප්‍රදේශ මුල් කරගෙන තමයි මේ යාගය බොහොමයක් දුරට පැවැත්වෙන්නෙ.අපේ බෙන්තර පැත්තෙ උදවිය මේ යාගෙ රටයකුම කියලා හඳුන්වනවා.මාතර පැත්තෙ අය රිද්දියාගය කියලා කියනවා.මේ ප්‍රදේශ දෙකේම පූජා විධිවල විවිධ වෙනස්කම් තියෙනවා"
"ඇයි සීයේ මේ යාගයේදී කළු යකාට පූජා විධි පවත්වන්නෙ" ඒ පැනය මගෙනි. "කළු යකා විශේෂයෙන්ම කාන්තාවන් ලෙඩ කරන යක්ෂයෙක්.ඒ නිසාම රිද්දියාගයේදි කළු යකාට දොල පිදේනි වෙන් කිරීමක් සිද්ධ වෙනවා.මෙසේ දරු සම්පත් ලබන රිද්දි බිසව් කිරි අම්මාවරුන් කියලා හඳුන්වනවා."
"දැනේද කිරිඅම්මාවරු එනවා
දිනේ රුවට රන්කඳ දිලිසෙනවා
රන් රුවසේ රන් මාලේ දිලෙනවා
රනේ රුවසේ නැව් හතෙන් වඩිනවා"
අත්තම්මා තාලයට රිද්දියාගයේ කිරිඅම්මාවරු වඩින කවියක් තාලයට ගායනා කරමින් ඉස්තෝප්පුව වෙත ආවේ සීයා තම කතාව අහවර කරද්දිමය.නැන්දාත් අම්මාත් සාලයට පිවිසියෝය.
"හැමෝම එහෙනම් යමුද ගුණසිංහ පොඩි සීයලෑ දිහාවේ කුඹුරු වැඩට පොඩි උදව්වක් දීලා එන්ට?" අත්තමට ගෙන යාමට ඇඹුලද ඒ වනවිට සූදානමින් තිබිණ.අද අත්තම් දිනයක් බවත්,වෙල් යායේ ගොයම් කවි ගායනාව ඇසෙන බවත් මට සිහියට නැගුණේ එවිටය.
"හරි එහෙනම් දැන් අත්තමට ගොහින් එමු.සවස් යාමයට යමු රටයකුම බලන්ට" සීයා එසේ පවසමින් සාලයෙන් පිටව සූදානම් වී ඒමට ගෙතුළට ගියේ නංඟීගේත් මගේත් ඔලුව අතගාගෙනමය.
එදින මුළු දවසම ගත වූයේ සවස් යාමය උදාවන තුරු නොඉවසිල්ලෙනි.යාගයකට සහභාගී වීම මට අලුත් අත්දැකීමක් විය.පවුලේ සියල්ලෝම මෙසේ එකට එකතු වී සතුටින් විනෝදයෙන් සහයෝගයෙන් කල්ගත කිරීම මේ ගැමි ජීවන සම්ප්‍රදායේ මා ආශා කරන තවත් කරුණක් විය.මහගෙදර නෑගම් පැමිණි සෑම අවස්ථාකම මා නැවත නගරයට ගියේ අලුත්ම සාම්ප්‍රදායික කරුණක් ඉගෙනගෙනය.මෙවර උසස්පෙළ රචනා තරඟාවලියට "නිවාඩුවේ අත්දැකීම්" යන මැයෙන් රචනාවක් ඉදිරිපත් කරන්නටද මා සිත තුළ බලාපොරොත්තුවක් ඇති විය.නිවාඩුවේ ගත කළ සොඳුරුම අත්දැකීම තම පාසලේ මිතුරු මිතුරියන් සමඟ බෙදා හදා ගැනීමටද මා තුළ වූයේ නොඉවසිල්ලකි.
12 comments:
👍👍👍👍👍
❤️❤️❤️❤️❤️
😘😘😘😘😘
👍
👍
👍 lassany akkiyo...😘❤️😘
❤️❤️
❤️❤️
Lassani benthiyo
Laassanai bn...
Niyamai
Good 👌
Post a Comment